Ananmanan.lk

තිරිසන් සතුන් ලවා හරි තරහා පිරිමහගන්න සම හරක් මිනිස්සු

March 11, 2017
views : 2821
මං නැවතිලා ඉන්න ගෙදරයි අල්ලපු ගෙදර අයයි එච්චර හිත හොද නෑ. දෙගොල්ලෝ මූණට මුලිච්චි උනාම දත් ටික පෙන්නලා හිනා උන්නට ඒ හිනාවෙන්නේ හිතේ කහට පුරෝගෙන කියල හොදටම පේනවා. මේ ගෙවල් දෙකේම බල්ලෝ දෙන්නෙක් හදනවා. මේ සුරතලුන් දෙන්නත් තමන්ගේ හාම්පුතාලා වගේම තරහයි. තමන්ගේ වත්තේ සීමාව ඇතුලේ රජ්ජුරුවෝ වගේ උජාරුවට කරක් ගැහැව්වට බැරි වෙලාවත් ඒ සීමාව පැන්නොත් අනිවා වලියක් තමයි. එක්කෙනෙක්ගේ නම කෝබා. ඒ අපේ බෝඩිමේ ගෙදර එකා. අල්ලපු ගෙදර ඉන්නේ බ්රවුනි. මේ දෙන්නම ඉන්නේ කූඩු වල. බ්රවුනි දවල්ට කූඩුවේ. එතකොට කෝබා රෑට කූඩුවේ.

අපි යන එන පාර ගාවම තමයි බ්රවුනිගේ කූඩුව තියෙන්නේ. අපි නැවතිලා ඉන්නෙත් බෝඩිමේ ගෙදර නිසා බ්රවුනිගේ හිතේ අපිත් ඒ ගෙදරම අය කියලා. යනකන් එනකන් බුරනවා අපි දැක්කත්. මං පාරේ ඇවිදින්නේ දාහක් දේවල් ඔලුවේ තියාගෙන නිසා ඒ බුරන එක මට ගානක් නෑ. හිතන්න වද වෙන්න ඊට වඩා කොච්චර දේවල් තියනවද. ඒත් මගෙත් එක්ක බෝඩිමේ ඉන්න යාළුවනම් කියාපු හාදයා. මෙයාටත් බ්රවුනි බුරනවා. හැබයි ඔක්කොම සද්ද කුඩුවේ ඉදන් තමයි. බෝඩිමේ යාළුවා මොකද්ද දන්නවද කරන්නේ. අර කූඩුව ගාවින් යනකන් එනකන් බොරුවට බල්ලෙක් වගේ ගොරවලා බ්රවුනිගේ යකා අවුස්සන එක. එහෙමත් නැත්නම් කෝබාව බ්ර්වුනිගේ කූඩුව ගාවට එක්ක යන එක. කූඩුවේ ඇතුලේ ඉන්න බ්රවුනි ඒ වෙලාවට ගිරිය කඩාගෙන බුරනවා ලේ ටික පිච්චෙනකන්. ඒ වෙලාවට කෝබාට ඉතින් රජ මගුල් වගේ. මේක උදේ හවස වෙන නාඩගමක්.

දවසක් හරි අපූරු වැඩක් උනා. මං වැඩ ඇරිලා බෝඩිමට එන ගමන්. එතකොට රෑ වෙලා ටිකක්. බෝඩිමේ ඇන්ටිට අනේ කෝබාගේ කුඩුවේ අගුල දාන්න අමතක වෙලා. මං මුලින් කිව්වනේ රාත්රිය කියන්නේ බ්ර්වුනිගේ වෙලාව. දවල් දවසේ ඉදන් කෝබගේ ලොකු සීන් බල බල ඉදල දැන් බලපන් මගේ ගණන් කියල ගැම්මෙන් තමයි බ්ර්වුනි වැයික්කියට බැහැල හිටියේ. රෑට කූඩුවේ නිදාගෙන පුරුදු කෝබත් මේක නම් අලුත්ම වෙනසක් කියලා රවුමක් දාන්න එලියට බැහැලා. හිතාගන්න පුළුවන්නේ මොකද උනේ කියල. මරාගන්නවා දැන් දෙන්න තරගෙට. බේරගන්නම බෑ. එක පැත්තකින් බෝඩිමේ ඇන්ටිලා. අනිත් පැත්තේ එහා ගෙදර කට්ටිය. හනේ අම්මේ එකම විලාපයක්. බල්ලොන්ගේ සද්දෙට වඩා මිනිස්සුන්ගේ ලතෝනිය. හොදම සිද්දිය මේකයි. බල්ලොන්ගේ පිටින් දාල මේ දෙගොල්ලොත් තම තමුන්ගේ කෝන්තර පිරි මහගන්නවා. "කාපිය ඔකව කාපිය", "උසි කෝබා උසි" , "මොන රෙද්දකට වත්තට ආවද මන්ද ගොන් බල්ලා" ,"බ්රවුනි නැට්ටෙන් අල්ලපන් නැට්ටෙන්...". බෝඩිමට එන්න විදියක් නැතුව මාත් හිටිය සෑහෙන වෙලාවක් මේ ජවුසම බලාගෙන. පුදුම ජීවිත අප්පා මෙව්වා. මට හිතුනේ එච්චරයි.
RJ

Contributor

Latest Articles

ලංකාවේ හදවත පලා ලේ උරාබොන උමාඔය අර්බුදයේ සම්පූර්ණ කතාව
ඔයත් ඔයාගේ බර සහ මහත නිසා පීඩා වීදිනවද?
දුඹුරු ළමිස්සි සිංදුව ලියැවුණේ මෙහෙමයි
ආදරේ එකිනෙකාට ප්‍රකාශ කර විට දැන ගත යුතුම දේවල්
බූට් එක