Ananmanan.lk

ලංකාවේ හදවත පලා ලේ උරාබොන උමාඔය අර්බුදයේ සම්පූර්ණ කතාව

June 21, 2017
views : 10695
හිතවත් පාඨක සහෘදය,

මේ ලිපිය තරමක් දීර්ඝ ය. එය කියවීමට ඔබට විනාඩි 5-10 පමණ ගතවනු ඇත. ඒ කාලය වියදම් කර මෙය කියවන්නැයි අපි ඔබෙන් ඉල්ලන්නේ නැත. ඒ වෙනුවට අපි ඔබට මෙසේ කියමු. ඔබ මේ වචන ටික කියැවීමට ගතකළ තත්පර 10 තුළ, මධ්‍යම කඳුකරයේ පිරිසුදු උල්පත් ජලය ලීටර් 10,600ක් කාන්දු වී, නාස්ති වී, යළි කිසිදාක නොලැබෙන ලෙස අපට නැතිවී හමාර ය. මේ ලිපිය දීර්ඝ වන්නේ ඒ නිසා ය. මන්දයත්, මෙය එදා මෙදාතුර ලංකා ඉතිහාසයේ කරන ලද දැවැන්තම පරිසර විනාශය පිළිබඳව ලියැවෙන ලිපිය බැවිනි. ලංකාවේ හදවත බඳු මධ්‍යම කඳුකරය හාරා, ඉරාන තෙල් සමාගමක් ලවා ඒ හරහා උමං මාර්ගයක් ඉදිකරවා, උමාඔයෙන් කිරිඳිඔයට ජලය පොම්ප කිරීමේ අසාර්ථක හීනය ගැන සම්පූර්ණ වාර්තාව ඔබට මෙයින් කියවිය හැකි ය. මේ උමාඔයේ පමණක් නොව, සමස්ත ශ්‍රී ලංකාවේම කඳුළු කතාවයි.

පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වී වැලිමඩ සානුව මැදින් ගලා බසින උමාඔයෙන් පෝෂණය වන උමාඔය නිම්නය, බදුල්ල දිස්ත්‍රික්කයේ සරුසාරම ප්‍රදේශවලින් එකකි. පිදුරුතලාගල කඳු වැටියේ මීටර් 2500 ක පමණ උසින් ඇරඹෙන උමාඔය, බොඹුරුඇල්ල ඔය, කුඩාඔය, අඹේවෙල ඔය, මාතැවිල්ල ඔය, හාල්ඔය, මාදොළු ඔය යන අතු ගංගා එකතු කරගනිමින් කිලෝමීටර් 75ක පමණ දුරක් ගෙවා රන්ටැඹේදී මහවැලි ගඟට එකතු වේ. උමා ඔය නිම්නයේ ජනතාවට පානීය ජලය සැපයෙන්නේ ප්‍රධාන වශයෙන්ම ළිං සහ නළ ළිං මගිනි.

වර්ග කිලෝමීටර් 720 ක පමණ මෙහි බහුලව පවතින්නේ අක්‌කර 100 ට අඩු වාරි ව්‍යාපෘති වේ. උමා ඔය ද්‍රෝණියේ වගාකෙරෙන කුඹුරු අක්කර 28,000කට ආසන්න ප්‍රමාණයෙන් හරි අඩක්ම අක්කර 100ට අඩු ඒවා වේ. මෙම කුඹුරු ඉඩම්වලින් වැඩි ප්‍රමාණයකට යල කන්නයේ වගා කටයුතු සඳහා ජල හිඟයක්‌බලපායි. මීට අමතරව විශාල ගොඩ ඉඩම් ප්‍රමාණයක එළවළු වගා කරන අතර මේ සඳහාද ප්‍රමාණවත් ජල සැපයුමක්‌ලබාගත නොහැකිය. බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ කිරිගව පාලනය වැඩිපුරම කෙරෙනුයේද උමා ඔය නිම්නයේ වන අතර, 2008 වර්ෂයේදී බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ සංඛ්‍යාලේඛන අනුව කිරිගව දෙනුන් 65,000කට ආසන්න ප්‍රමාණයක් එහි වූහ.

බදුල්ල දිස්ත්‍රික්කයේ ආර්ථික උල්පතක් බඳු වූ උමාඔය නිම්නයේ වටිනාකම, 1968 තරම් ඈත කාලයකදී ද වටහාගෙන තිබුණි. මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ උමා ඔය නිම්නය සංවර්ධනය ද අඩංගු වූයේ එබැවිනි. ඒ අනුව මහියංගන රොටලවෙලදී මහවැලි ගඟ හරස්‌කර ජලාශය ඉදිකිරීම, මිනිපේ ඇළ අඹන් ගඟ දක්‌වාත් දෙවනුව කවුඩුල්ල දක්‌වාත් දිගු කිරීම, මාදුරුඔය දකුණු ඉවුර මගින් මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට ජලය සැපයීම, උමාඔයේ ඉහළ ජල විදුලිබලාගාරය (මෙගාවොට් 25) සහ උමා ඔය පහළ විදුලි බලාගාරය (මෙගාවොට්‌30) ඉදිකිරීම ද ඊට අඩංගු විය.

උමාඔය, එහි ස්වාභාවික ගමන්මගෙන් වෙනස්කොට ඉවතට ගෙන දකුණට හරවා කිරිඳි ඔය නිම්නයට හරවා දකුණු පළාතේ හම්බන්තොට ආශ්‍රිත ප්‍රදේශයට ජලය ලබාදීම, කලක සිට සාකච්ඡා වූ මාතෘකාවකි. එහෙත් මෙහිදී පැනනගින ප්‍රධාන ගැටළුවක් වන්නේ උමාඔය හැරවීම ප්‍රයෝගිකව කරන්නේ කෙසේද යන්නයි. මෙය පොළොව මතුපිටින් හැරවීම කළ නොහැක්කක් වීම නිසා බණ්ඩාරවෙල-වැලිමඩ නගර යටින් පොළොව හාරා ඉදිකෙරෙන භූගත උමං මාර්ගයකින් ජලය ගෙනයාම, ව්‍යාපෘතියෙන් යෝජිත ය. එසේ දකුණට ගෙනයනු ලබන ජලයෙන් හම්බන්තොට වරාය, ගුවන් තොටුපළ ක්‍රීඩාංගණ, සංචාරක හෝටල් කර්මාන්ත ප්‍රදේශ සඳහා ජලය ලබා දීමටත්, කිරිඳිඔය නිම්නයේ වගා ඉඩම් හෙක්‌ටයාර් 3,000කට වාරි ජලය සැපයීමටත්, මෙගාවොට්‌125 ක ජලවිදුලිය නිෂ්පාදනය කිරීමටත් යෝජිත ය.

සවිස්තරව ගතහොත්,

* වැලිමඩ පුහුල්පොලදී ඔය හරස්‌කොට එක් ජලාශයක්‌ඉදිකිරීම
* වැලිමඩ ඩයරබාහිදී මාතැවිල්ල ඔය හරස්‌කොට තවත් ජලාශයක්‌ඉදිකිරීම
* පුහුල්පොල ජලාශයේ සිට ඩයරබා ජලාශයට 4km දිගකින් යුත් හා මීටර් 4ක් පළල උමගක්‌ඉදිකිරීම
* ඩයරබා සිට කුරුකුදේගම අයිස්‌ලැබ්, බිඳුණුවැව, හීල්ඔය, අභදන්ඩේගම යන ගම්මාන යටින් 15.2km දිගින් හා මීටර් 4.3 පළලින් යුත් උමං මාර්ගයකින් විදුලි බලාගාරය දක්‌වා ඉදිකිරීම.
* ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ වැල්ලවාය මායිමේ භූගත විදුලිබලාගාරය ඉදිකිරීම
* එම භූගත විදුලිබලාගාරයේ සිට අලිකොටආර දක්‌වා 3.3km දිගින් යුත් හා මීටර් 4.1 පළලින් යුත් ජලය පිටකිරීමේ උමග ඉදිකිරීම
* විදුලි බලාගාරයට ඇතුළු වීම සඳහා කි. මීටර් 1.5 කින් යුත් උමගක්‌ඉදිකිරීම
* විදුලි බලාගාරයේ සිට බදුල්ල විදුලි උපපොළ දක්‌වා අධිබලැති රැහැන් මාර්ගය ඉදිකිරීම

මෙමගින් යෝජිත ය.

බැලු බැල්මටම පෙනෙන කාරණය නම්, ලංකාවේ හදවත බඳු මධ්‍යම කඳුකරයේ ගිනිකොණ බෑවුම ආශ්‍රිතව, ඉහළ ඌවේ කඳුකරය යටින් උමං මාර්ග ඉදිවීම ඉතා අවදානම් කටයුත්තක් බවයි. මෙය එම ප්‍රදේශවල ජල මුලාශ්‍රවලට තර්ජනයක්‌වනවා පමණක් නොව ඉදිරියේදී දැඩි නාය යැම් ඇතිවීමට ද ලක්‌වීමට ඉඩ සලසන අවදානමකි.

දැනටමත් මෙම අර්බුදය හේතුවෙන් බණ්ඩාරවෙල නිවාස 4,400 කට වඩා ඉරිතැලීම්, ගිලාබැසීම් වලට භාජනය වී තිබේ. වැලිමඩ පුහුල්පොළ ජලාශයේ සිට ඩයරබා ජලාශය දක්වා කිලෝමීටර් 3.5 උමං මාර්ගය සැකසීම සඳහා විශාල ගල් පර්වත කඩා ඉවත් කිරීම සඳහා ගල් වෙඩි යෙදවීම හේතුවෙන් පුහුල්පොළ, ලුණුවත්ත කොන්කණුවෙල යන ප්‍රදේශවල නිවාසවල බිත්ති පිපිරී යෑමට ලක්වෙමින් පවතී. ඒ සමග ඩයරබා ජලාශයේ සිට අලිකොටආර දක්වා උමං මාර්ගය සැකසීම නිසා බණ්ඩාරවෙල අවට පිහිටි හීල්ඔය, මකුල්ඇල්ල, වෙහෙරගලතැන්න, කුරුඳුගොල්ල, එගොඩගම, මැදපේරුව, පල්ලේපේරුව, බොරලන්ද ඇතුළු ගම්මාන රාශියකම මේ වන විට ළිං 350 ක පමණ ජලය, දිය උල්පත් ජලය සිඳී යෑමට ලක්ව, පවුල් 500 ක සාමාජිකයන් 5,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර මෙම ප්‍රමාණය ඉදිරියේදී තවත් වැඩිවෙතැයි පැවසේ.

බණ්ඩාරවෙල, ගිනිගම, උඩුපේරුව, මැදපේරුව, අරවත්ත, මහගලඉන්න කොටස, කොලතැන්න, පහළතැන්න, මකුල් ඇල්ල, හීල් ඔය, කුරුකුදේ, බැද්දෙඅරාව, ලියන්ගහවෙළ, වෙහෙරගලතැන්න, කුරුදුගොල්ල, එගොඩගම, අම්පිටිය, පල්ලෙපේරුව, කරගහවෙළ, බොරලන්ද, රජකොටුව, පුහුල්පොළ, දික්කාපිටිය, ඉහළ කොටවර, පහළ කොටවර, අඹදණ්ඬේගම හා අභයපුර යන සියලු ප්‍රදේශ මේ වනවිට මිනිස් වාසයට නුසුදුසු මට්ටමේ අවදානම් කලාප ලෙස නම්කර හමාර ය. නිවාසවලට සිදුවන හානිවලට අමතරව, භූගත ජල උල්පත් කාන්දු වී සිඳී යාම හේතුවෙන් සියලු ළිංවල ජලය සිඳීගොස් තිබේ. සමහර ප්‍රදේශවල ජනතාවට සතියකට රජයෙන් ලැබෙන ජලය ලීටර් 500 හැර බොන්නවත් ජලය නැති මට්ටමක් පවතී.

වර්ෂ 2015 තරම් ඈතදී ද, මෙම උමං මාර්ග කැණීම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ භූගත ජලය බරපතළ ලෙස කාන්දුවට ලක්විය. එවකට එය තත්පරයට ජලය ලීටර් 250ක් හෙවත් දිනකට ජලය ලීටර් මිලියන 20කට ආසන්න අපතේ යාමකි. මෙය 2016 වනවිට දිනකට ලීටර් මිලියන 40 දක්වා ඉහළ ගිය අතර, දැන් වර්තමානය වන විට එය දිනකට පිරිසුදු ජලය ලීටර් මිලියන 86 දක්වා ඉහළ ගොස් තිබේ. එනම්, සෑම තත්ත්පරයකම, පිරිසුදු උල්පත් ජලය ලීටර් 1060 ගණනේ අපතේ යයි. කොළඹදී බෝතල් කළ උල්පත් ජලය, ලීටරයේ බෝතලය රුපියල් 80 ගණනේ මිලදී ගන්නා අපට, දිනකට ජලය ලීටර් මිලියන 86 බැගින් අපතේ යන පිරිසුදු උල්පත් ජලය ගැන වටිනාකමක් නැතිවීම කෙතරම් කණගාටුවට කරුණක් ද?
මීට අමතරව පරිසර වාර්තා දක්‌වා ඇති පරිදි රටේ අලි ජනගහනයෙන් 25% ක්‌ජීවත් වන්නේ යෝජිත නව ව්‍යාපෘති ප්‍රදේශයේ ය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම තුළින් අලි මිනිස්‌ගැටුම තවදුරටත් උග්‍ර වීම නොවැළක්විය හැකි බව පරිසර වාර්තාවේද සඳහන්ව ඇත. පසුගිය කාලයේ හඳපානාගල වැව හිස්කිරීම හේතුවෙන් වල් අලි ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් ජනතාව විපතට පත්වූ ආකාරය මාධ්‍යවල වාර්තා විය. වියළි කර්කශ දේශගුණයක් ඇති වැල්ලවායට ඇති විශාලතම ජල මූලාශ්‍රය හඳපානාගල වැව යි. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට එක්වෙන හඳපානාගල වැව සංවර්ධන කටයුතු සඳහා මේ වන විට හිස් කර තිබේ.

පළමුව ඇමෙරිකානු ඩොලර් මිලියන 250 කට ඇස්තමේන්තු කළ ව්‍යාපෘතිය අවසානයේ ඉරානයේ ෆරාබ් සමාගමට භාර දුන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 553 කට ය (රු. කෝටි 7,632). මෙම මුදල සැපයෙන්නේ ඉරාන අපනයන සංවර්ධන බැංකුවෙන් පොළියට ලබාගන්නා ලද ණය මුදලක්‌මගිනි. මෙම ණය ලැබෙන්නේ ද කොන්දේසියක් මත ය. එනම් උමාඔය ව්‍යාපෘතිය, ඉරානයේ ෆරාබ් සමාගමට ලබාදිය යුතු ය යන කොන්දේසිය යටතේ ය. ඉරාන අපනයන සංවර්ධන බැංකුව වසර 20 කින් ගෙවා දැමීමට මෙම ණය මුදල ලබා දුන්නේ මෙම ව්‍යාපෘතිය පිළිබඳ ව කිසිදු තාක්ෂණික ඇගයීමකින් තොරව ය. මෙපමණක් නොවේ: ව්‍යාපෘතියට අවශ්‍යයයි ඇස්තමේන්තු කර ඇති 1,670ක සේවක සංඛ්‍යාවෙන් බහුතරය, එනම් 1334ක්ම කම්කරුවන් ය. එම කම්කරු රැකියාවලින් 1,1197ක් ලංකාවේ සේවකයන්ගෙන් පුරවනු ලැබේ. ඉංජිනේරු රැකියා ඇතුළු ඉතිරි පුරප්පාඩු සියල්ල පිරවෙන්නේ ඉරාන ජාතිකයන්ගෙනි.

ලංකාවට භූ විද්‍යා පතල් කාර්යාංශයක් තිබියදී, පේරාදෙණිය සරසවියේ භූ විද්‍යා අධ්‍යයනාංශයක් ද තිබියදී, ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ, ජල මූලාශ්‍ර පිළිබඳව දත්ත ද තිබියදී, මේ කිසිවක් සම්බන්ධ කර නොගෙන මේ ව්‍යාපෘතිය කරන ලද්දේ කාගේ හදිසියකටදැයි ගැටළුවක් පවතින බව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිසරවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, භූ විද්‍යාඥ ජිනදාස කටුපොත මහතා 2009දී ප්‍රශ්න කළේ ය. එවිට අදාළ වගකිවයුත්තන් ඔහුට පිළිතුරු දුන්නේ "මහාචාර්යවරුන්ගේ මොළේ තියෙන්නේ ගොම" යැයි පවසමිනි. ජෙයෂ්ට පරිසරවේදී තිලක් කාරියවසම් මහතා පවසන පරිදි, නිසියාකාර පාරිසරික අධ්‍යයනයකින් තොරව කරනු ලබන මෙවන් යෝජනා සඳහා ලෝකයේ කිසිදු ප්‍රාමාණික සමාගමකින් හෝ ආයතනයකින් ආධාර ලබාදෙන්නේ නැත. ඉරානයේ ෆරාඩ් සමාගම වැනි තෙල් ළිං කැණීමට සහ කළු සල්ලි සුදු කිරීමට පමණක් නමක් දිනා ඇති සමාගමකට මේ ව්‍යාපෘතිය භාරදීමේ රහස එයයි.

බරපතළ කොන්දේසි සහිතව වුවද, මෙම ණය මුදල ලබාගැනීමට තිබු දැඩි හදිසිය නිසා, සැලසුම් හා පරිසර බලපෑම් ඇගයීම් වාර්තා ද සකස්‌කර නොතිබියදීම, 2009 අප්‍රේල් 29 වන දින පෙ.ව. 10.00 ට වැල්ලවාය, අලිකොටආර ප්‍රදේශයේ දී “උමාඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය” මුල්ගල තබා ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. මුල්ගල තැබීමේ උත්සවයට පමණක් වියදම් කළ මුදල රුපියල් ලක්ෂ 260ක් හෙවත් මිලියන 26කි. මුල්ගල් තබා වසර 03 ක්‌ගත වූ මොහොතේ ලංකා ඉතිහාසයේ වැඩිම ලිඛිත විරෝධතා ප්‍රමාණයක්‌ඉදිරිපත් කර තිබියදී, එවකට රජය විසින් 2011 අප්‍රේල් මස 11 වන දින පරිසර වාර්තාවට අනුමැතිය ලබාදී මෙම ව්‍යාපෘතිය කිරීම යෝග්‍ය බව ප්‍රසිද්ධ කළේය.

මොණරාගල සහ හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌ක දෙකට ද උග්‍ර ජල හිඟයක්‌පවතින බව සත්‍යයකි. එම දිස්ත්‍රික්ක දෙකෙහි ජනතාවට ජලය සැපයීම ද අවශ්‍යතාවකි. එහි තර්කයක් නැත. එහෙත් කිරිඳිඔය නිම්නයේ ජලහිඟය පියවීමට, උමාඔයට හැකියාවක්‌නැත. මන්දයත් මෙම නිම්න දෙකටම වහින්නේ සහ පායන්නේ එකම කාලයක නිසා ය. උමා ඔය සහ කිරිඳි ඔය නිම්නයට වර්ෂාව ලැබෙනුයේ ඊසාන දිග මෝසමෙනි. කිරිඳි ඔය නිම්නයට ජලය හිඟ වන විට උමා ඔය නිම්නයටද ජල හිඟය පවතී. වැස්ස සහ පෑවිල්ල එකම කාලයක සිදුවන බැවින්, ඒ අනුව කිරිඳිඔයට ජලය හිඟ වූ විට උමාඔයෙන් ලබාදීමට තරම් ජලයක් උමාඔයේ නැත. එබැවින් මෙම නව ව්‍යාපෘතිය මගින් කිරිඳිඔය නිම්නයේ ජල හිඟයට විසඳුමක්‌ලැබෙන්නේ නැත.

අනෙක් අතට මොණරාගල සහ හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌ක හරහා මුහුදට ගලා යන ගංගා ගණනාවකි. ඒවායෙන් තවමත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලායාමට ඉඩහැර ඇති ජලධාරිතාව ද අතිවිශාලය. රජයේ වාර්තා අනුව නිල්වලා ගඟෙන් 40% ක්‌ද කිරිඳි ඔයෙන් 30% ක්‌ද මැණික්‌ගඟෙන් 33% ක්‌ද, කුඹුක්‌කන් ඔයෙන් 36% ක්‌ද කිරම ඔයෙන් 33.5% ක්‌ද, උරුබොක්‌ක ඔයෙන් 27% ක්‌ද, වලවේ ගඟෙන් 22% ක්‌ද ගල්ඔයෙන් 31% ක්‌ද මුහුදට ගලා බසින්නේ මොණරාගල සහ හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌ක හරහා ය. මෙම ජලය ප්‍රයෝජනයට ගත හැකි පරිදි කළමනාකරණය කරන්නේ නම්, රුපියල් කෝටි ගණන් වියදම් කරමින් උමාඔයෙන් වතුර හැරවීමට අවශ්‍ය වන්නේ නැත.

සැලකිය යුතු තවත් කරුණක් පවතියි. උමා ඔය ව්‍යාපෘතියට මුල්ගල තැබීමෙන් පසු හම්බන්තොට සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශය සඳහා පානීය ජලය සැපයීමට යැයි පවසමින් "රුහුණුපුර ජල ව්‍යාපෘතිය" නමින් තවත් මහා පරිමාණ ව්‍යාපාතියක්‌රුපියල් කෝටි ගණනක්‌වියදම් කර අලුතින් අරඹා ඇත. රුහුණුපුර ජල ව්‍යාපෘතිය මගින් හම්බන්තොට සහ කිරිඳිඔය නිම්නයට ජලය සපයන්නේ නම් උමාඔය හරවන්නේ කුමට ද? දකුණට ජලය සැපයීමට යයි පවසමින් ඇරඹු උමාඔය ව්‍යාපෘතිය අවසාන කරන්නත් පෙරම, දකුණට ජලය දෙන්නට අලුතෙන්ම "රුහුණුපුර ව්‍යාපෘතිය" පටන්ගැනීම මගින් බලධාරීන් නිහඬවම පිළිගෙන ඇත්තේ උමාඔය ව්‍යාපෘතියේ අසාර්ථකත්වය නොවේ ද?

උමා ඔය නිම්නයේ කුඹුරු ඉඩම්වලට ප්‍රමාණවත් ලෙස ජලය ලබා ගැනීමට දැනටත් නොහැකි වී ඇත. නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම තුළින් කන්දකැටිය ප්‍රදේශයේ බත් මැඩිල්ල ව්‍යාපාරය, මහවැලි සහ මිනිපේ ගොවි ජනපදවලටද ඉදිරියේදී උග්‍ර ජල හිඟයකට මුහුණ පෑමට සිදුවනු ඇත. දැනටමත් දියතලාව, බණ්‌ඩාරවෙල, ඌවපරණගම, වැලිමඩ, ඇටම්පිටිය, හාලිඇල, වියළුව ඇතුළු ඉහළ ඌවේ ප්‍රදේශ ගණනාවකට පානීය ජල ගැටලුවකට මුහුණ පෑමට සිදු වී ඇත. උමා ඔය ව්‍යාපෘතියෙන් ජලය දකුණට හැරවීම තුළින් ඉහළ ඌවේ ජල ගැටලුව තවත් උග්‍රවනු ඇත.

මේ කාන්දුවන්නේ ලංකාවේ හදවතයි. ඊට කණ තබා බැලීම ඔබෙත් මගෙත් යුතුකමයි.
Wihanga Nakulugamuwa

Contributor

Latest Articles

ඔයාගේ කොල්ලත් මේ වගේ නම් ජිවිතේට අත අරින්න එපා
ඔයත් ඔයාගේ බර සහ මහත නිසා පීඩා වීදිනවද?
දුඹුරු ළමිස්සි සිංදුව ලියැවුණේ මෙහෙමයි
ආදරේ එකිනෙකාට ප්‍රකාශ කර විට දැන ගත යුතුම දේවල්
බූට් එක