Ananmanan.lk

බැතිමතුන් දහස් ගණනින් වන්දනා කිරීමට එන ශ්‍රී පාදය..

February 7, 2018
views : 710
ශ්‍රී පාදය, නැත්තම් සමනළ කන්ද කියලත් සමහරු කටවචනයට කියනවා. කෙසේ නමුත් ශ්‍රී පාදය ගැන ටිකක් හොයලා බලන්න මං හිතුවා. හරි අපි කතාවට බහිමු, නවම් මාසයේ සීතල එක්ක එකතුවන මීදුමෙන් වැසීයන අවට පරිසරයේ චමත්කාරයත් සමගින් දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදය වන්දනා මාන කරන්නට යනවා. ඔවුන් නගන සාධු නාදය නිසල අහස් කුස පුරා රැව්පිළිරැව් දෙනවා. නිල් පාට ආකාසයට මැදිවෙලා පිහිටි සමන්කුළු පව්ව මත හිද අවට බලනවිට පෙනෙන්නේ ගව් ගණන් දිගට විහිදී ඉමක් කොනක් නොපෙනෙන වළාකුළු පෙළක්. හද පිරි භක්තියෙන් සමන් ගිර වන්දනා මාන කරන්නට බැතිමතුන් පැමිණෙන්නේ අද ඊයේ සිට නෙවෙයි. වසර දෙදහස් හයසීයකට පමණ පෙර බුදු හිමියන් මෙරටට වැඩම කර ශ්‍රි පතුල පිහිටවූ කාලයේ සිටම ශ්‍රි පතුල වන්දනා මාන කිරීමට පිරිස එක් වෙනවා කියලා පරණ පොත් වල ද සදහන් වෙනවා.

ඒ වගේම කැළණි නදියෙහි ඉවුරේ මහා මුහුදට ආසන්නයේ පිහිටි කල්‍යාණ රට රාජ කුමාරවරුන් දෙදෙනෙකු අතර ඇතිවී යයි කියන මහා සටන මැඩ පවත්වීම රටේ පාලකාදීන්ටද මහත් ප්‍රශ්ණයක් වී තිබෙනවා. ඒ නිසා මණිඅක්ඛික මහා රාජවරුන්ගේ මැණික් පිළිබදව ඇතිවූ මේ ආරවුල විසදීම සදහා බුදුන් වහන්සේ සිරිලකට වැඩම කරලා තියනවා කියලත් සදහන් වෙනවා. කැළණි රජමහා විහාරය පිහිටි බිමේ සිට කුමාරවරුනට අවවාද අනුශාසනා කොට ඔවුන්ගේ ගැටඵව නිරාකරණය කරලා තියනවා.

සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් බුදු හිමියන් සමනළ ගිරට වැඩි වග හා සමන් දෙවිදුගේ ආරාධනය පරිදි කදු පාමුල එකල පැවති දිව්‍ය ගෘහයක දිවා කාලය ගත කල බවත් බෞද්ධ සාහිත්‍යයෙහි තව දුරටත් සදහන් වෙනවා. අතීතයේ නාග රාජධානිය කැළණිය. බුදු හිමියන් කැළණියට වැඩම කල අවස්ථාවේ සිරිපා සටහන් දෙකක් පිහිටුවා ඇති බව අපේ පැරණි සාහිත්‍යෙයේ සඳහන් වෙනවා. බුදුහු නාගයන් දමනය කිරීමෙන් පසුව ඔවුන් හික්මවීම සදහා රටේ ප්‍රධාන නගරයට උතුරින් එක් පා සලකුණක් හා අනෙක ඉන් යොදුන් පහලොවක් ඈතින් තවත් කන්දක් මත පා සලකුණක් පිහිටුවා තිබෙනවා. සිරිපා කන්දේ ඇති සිරිපා සටහන ඇත්තේ මැණික් ගලකයයි කියලා මතයක් තියනවා.

මේ කාරණාව නිසා බුදුන් දා සිටම ශ්‍රී පාදස්තානය හා කැළණිය පූජනීය ස්ථාන. රාමායනයේ කියන ආකාරයට සමන් දෙවිදු රාම කුමාරයාගේ සොහොයුරා, සමන් දෙවිදුන් සුමන යන නමින් දක්වා ඇති බවත් සදහන් වෙනවා. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරලීමේ කාර්යය විෂ්ණු දෙවියන්ට භාරව පැවතුණ කාර්යයකි. ඒ භාරදුර කාර්යයෙන් යුතුවූ විෂ්ණු සමන් දෙවියන්ට ශ්‍රී පාදස්ථානය බාර දුන් බව ජනප්‍රවාදයෙහි සදහන් වෙනවා.

අතීතයේදී සිංහලයෝ වන්දනා මාන කරන ලද ශ්‍රී පාදය ඇතැම් කලෙක දී රටතුල පැවති සිවිල් යුද්ධය නිසා අප අතරින් ඈත් වී තිබෙනවා. තවත් විටෙක ලං විය. අනුරපුර යුගයේදී අපට ලැබුණු බෞද්ධ වස්තූන් වන ශ්‍රී මහා බෝධීන් වහන්සේ, දන්ත ධාතූන් වහන්සේ වැදපුදා ගැනීමට පහසු වුවත් රටේ පැවති කලබගෑනි නිසා මේ සමන් ගිරට යන මාර්ගය වනගත වී ඇවිරී තිබුණු බවත් සදහන් වෙනවා. මේ නිසා එක්තරා කාලයක ශ්‍රි පාදස්ථානය සොයා ගැනීම උගහට වූ බව වංශකතාවල සදහන් වෙනවා. නිශ්ශංක මල්ල රජු දවස එන පුවතක් අනුව ශ්‍රී පාදස්ථානය යළි හමු වි තිබෙනවා. සමණල කන්ද පාමුල මල් උයනක සිටි නොන්ඩියෙකුට දෙව්ලියන් ශ්‍රී පාදස්ථානයට යන මග පෙන්වාදුන් බව තව දුරටත් කියවෙනවා.

සිංහල ඉතිහාස කතාවේ කියැවෙන සමන් මල් පෙරහැර උදුවප් මහේ පසලොස්වක පෝයෙන් ආරම්භ කර වෙසක් මස පුර පසලොස්වක පෝදා දක්වා පැවැත් වෙනවා. කරුණාව හා දයාව හදවතේ තුරුඵ කරගත් බැතිමත්හු ඈත අතීතයේ සිටම සිරිපා වන්දනාව අලංකාර කිරීම සදහාත් විඩාව සංසිදුවා ගැනීම සදහාත් තුන් සරණේ කවි ගායනා කරමින් තමයි ගමන් ගන්නේ.

බුදු හිමියන්ගේ ගුණත්, සමන් දෙවිදුන්ගේ ඥානයේ මහිමයත් බලයත් සිහි කරමින් සිරිපා වන්දනාවේ යන බැතිමතුන් ඉදිකටුපානේදී ගෙත්තම් කර සීත ගගුලේදී සිහිල් ජලයෙන් ස්නානය කර පේවී සුදුඇදුමින් සැරසී සමන් ගිර තරණය කොට පෙරළි පෙරළී සිරිපා වදින ආකාරය දකින්නකුගේ හදවතේ ඇති භක්තිය තව තවත් වැඩි අකාර්ශනය වෙන එක අහන්නත් දෙයක් නැහැ.

සමන්ගිර වන්දනා මාන කරන්නට පැමිණෙන්නන් අතර බෞද්ධයන් මෙන්ම වෙනත් ආගම්වල බැතිමතුන්ද ශ්‍රී පාදස්ථානයට පැමිණෙනවා. එයට හේතුව තම තමන් අදහන දෙවියන්ගේ පාද ලාංජනය මෙහි ඇති බවයි ඔවුන් සලකන්නේ. හින්දු භක්තිකයන් ශිව පාද ලෙසින්ද මුස්ලිම් ජාතිකයන් ආදම් පාදම් ලෙසින්ද කතෝලික බැතිමතුන් ශාන්ත තෝමස්ගේ පාදය ලෙසින්ද සලකා සිරිපා සටහනට පූජා පවත් වනවා. කෙසේ නමුත් මේ බුදුන්ගේ පා සලකුණ බව ඔප්පු කිරීමට සාක්ෂි ඇති බවත් පැරණි පොත් පත් වල සදහන් වෙනවා.

සටහන
ධනුජය රත්නායක
danujaya

Contributor

Latest Articles

වෙබ් ඩිසයිනර්ලා බහුලව සිදු කරන වැරදි
බොහෝ අය නොදැකපු ඩන්සිනන් ඇල්ල
මේ දවස් වල කාගේත් කතා බහට ලක් වෙන BMW i8
හන්තානේ නගින්න කැමති ද?
ලැම්බෝගිනිය ගැන දන්නේ නැති අයට