Ananmanan.lk

ලැම්බෝගිනිය ගැන දන්නේ නැති අයට

March 7, 2018
views : 1476
ලැම්බෝගිනි කිව්වම දැන් ඉතිං නොදන්න කෙනෙක් නැති තරම් නේ. හැමෝම පැදලා නැති උනාට දැකලා තියන අය ඕනි තරම් ඉන්නවා. ඇත්තටම අපි අහල හෝ දැකල තියෙන්නේ ලැම්බෝගිනි කියන වචනය සහ ඒ කාර් එක විතරයිනේ. ඒත් මේ කාර් එක මේ තරම් විශේෂ වෙන්නේ ඇයි කියලා කියන්න ගොඩාක් දෙනෙක් දන්නේ නෑ. මං හොයා ගත්ත විස්තර ටිකක් තමයි අද කියන්න හදන්නේ.

ලැම්බෝගිනි කාර් එක කියන්නේ ලෝකයේම ස්පොර්ට්ස් කාර් අතර ඉහළින්ම තිබෙන මාදිලි කිහිපයෙන් එක් මාදිලියක් කිව්වොත් මං හිතන්නේ මං නිවැරදියි. නියම ලැම්බෝගිනි හදන්නේ ඉතාලියේ ‛ඔටෝමොබිලි ලැම්බෝගිනි’ (Automobili Lamborghini) සමාගම. මේ ලැම්බෝගිනි කාර් නිර්මාණය කිරීම පිටිපස්සේ හරි ලස්සන කතාවක් තියෙනවා. ඇත්තටම ලැම්බෝගිනි කාර් හැදුවේ තරහට. ඉතාලි ජාතිකයෙක් වෙන ෆෙර්රුකිඕ ලැම්බෝගිනි (Ferruccio Lamborghini) තමයි ලැම්බෝගිනි මෝටර් රථයේ මුල්ම නිෂ්පාදකයා වෙන්නේ. ඔහු ඇත්තටම මුලින්ම හැදුවේ මෝටර් රථ නෙවෙයි Lamborghini ට්‍රැක්ටර්. මිදි ගොවි පවුලක උපන්න ෆෙර්රුකිඕ ලැම්බෝගිනිගේ කැමැත්ත තිබුනේ කර්මාන්ත ක්ෂේත්‍රයට. නමුත් ඔහුගේ තාත්තා මිදි ගොවියෙක්. ඔහු තරුණ වයසට එද්දී දැඩි කැමැත්තක් දැක්වූයේ වාහන සහ ඒ ආශ්‍රීත යන්ත්‍රෝපකරණ අලුත්වැඩියාවට සහ ඒ පිළිබඳ අධ්‍යයනයට.

ඔහොම කාලයක් යද්දී 40 වන දශකයේ වගේ මොහු ඉතාමත් කුඩා ප්‍රමාණයේ ගරාජයක් පටන් ගන්නවා. ඒ මෝටර් සයිකල් සහ වාහන අලුත් වැඩියාව සදහා. ඔහු ඒ කාල සමයේදී ගත්ත ඉතා වැදගත් තීරණයක් වන්නේ දෙවැනි ලෝක යුද්ධ සමයේ අතහැර දමා ගිය රථවාහන කොටස් අඩු මිලකට එක් රැස් කිරීම. එසේ එක් රැස් කරගත් සුන්බුන් උපයෝගි කරගෙන ඔහු 1948 දී පමණ ලැම්බෝගිනි ට්‍රැක්ටර් හදන්න පටන් ගත්තා. ඔහුත් නොසිතූ විදියට ඔහුගේ ට්‍රැක්ටර් නිෂ්පාදන ව්‍යාපාරය නැඟලා ගියා.

කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ට්‍රැක්ටර් ව්‍යාපාරයෙන් යහමින් මුදල් හම්බ කරන්න ලැම්බෝගිනි සමත් වුණා. ලැම්බෝගිනි විනෝදාංශයක් විදියට මෝටර් රථ ධාවනයට පුදුමාකාර කැමැත්තක් දැක්වූවා. එම නිසා ඔහුට සුපිරි මෝටර් රථ කිහිපයක්ම තිබුණා. ඒ අතරින් ඔහු ෆෙරාරී 250 GT (Ferrari 250 GT) මෝටර් රථය තමයි ආශාවෙන් ධාවනය කළේ. දිනක් ඔහු ෆෙරාරී මෝටර් රථය ධාවනය කරද්දී ඔහුට එහි තිරිංග පද්ධතියේ යම් කිසි දෝෂයක් පවතින බව දැනුණා. ඔහු ඒ පිළිබඳ කියන්න ෆෙරාරි ව්‍යාපාරයේ හිමිකරු වන එන්සෝ ෆෙරාරි මුණගැසෙන්න ගියා. ෆෙරාරි තම සමාගම නිෂ්පාදනය කරන මෝටර් රථයේ කිසිදු වරදක් නැතැයි දැඩිව පැවැසුවා.

“වැරැද්ද තියෙන්නේ තිරිංගයේ නෙවෙයි කාර් එක එළවන එක්කෙනාගේ. ඒක නිසා තමුසෙ දන්නේ නැති කාර් ගැන හොයන්නේ නැතිව දන්න කියන ට්‍රැක්ටර් ගැන බලාගත්තොත් හොඳයි.” එන්සෝ ෆෙරාරි තවදුරටත් කෝපයෙන් පැවැසුවා. ෆෙරාරිගේ දෝෂාරෝපණයෙන් ලැම්බෝගිනි දැඩි කෝපයට පත්වුණත් ඔහු එම කෝපය එම අවස්ථාවේ පිට නොකරන්න තීරණය කළා.

ඔහු ෆෙරාරිගේ දෝෂාරෝපණය තුළ නව ව්‍යාපාරික අවස්ථාවක් දැක්කා. තවදුරටත් ට්‍රැක්ටර් නිපදවනවා වෙනුවට සුපිරි මෝටර් රථ නිෂ්පාදනය පැත්තටත් අවධානය යොමු කරන්න හිතුවා. මන්දයත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය පුරා වූ ධනවතුන් ජීවන රටාවන් වෙනස් කළා. වේගයෙන් ධාවනය කළ හැකි සුඛෝපභෝගී මෝටර් රථ සඳහා වන ඉල්ලුම එන්න එන්නම වැඩි වුණා. එම නිසාම V12 එංජිම යොදාගෙන මෝටර් රථ නිෂ්පාදනය සඳහා ඉතා කුඩා කර්මාන්ත ශාලාවක් ලැම්බෝගිනි නිර්මාණය කළා. ඔහුගේ අරමුණ වුණේ සාමාන්‍ය මෝටර් රථයක් නිෂ්පාදනය කරන්න නෙවෙයි.ඔහුට අවශ්‍ය වුණා ෆෙරාරි මෝටර් රථයට තරගයක් දෙන සුඛෝපභෝගී සුපිරිම මෝටර් රථයක් නිෂ්පාදනය කරන්න. ඔහු මුලින්ම කළේ ඔහුගේ තරගකරු වන එන්සෝ ෆෙරාරිට අයිති ෆෙරාරි සමාගමේ වැඩකරන දක්ෂම සේවකයන් ඉහළ වැටුපකට තම සමාගමට ගෙන්වා ගැනීම.

එම උපක්‍රමය මඟින් ෆෙරාරිගේ සියලුම තාක්ෂණික රහස් සහ විකුණුම් රහස් ලබාගන්න ඔහුට හැකියාව ලැබුණා. තමන් මුලින්ම කළේ ෆෙරාරි මෝටර් රථය කොපි කිරීම කියලා පසුකාලයකදී ප්‍රසිද්ධියේම කිව්වා. අවසානයේ ඔහු ලැම්බෝගිනි පැයට කිලෝමීටර් 150ක වේගයෙන් ධාවනය කළ හැකි 350GT මෝටර් රථය 1966 දී නිෂ්පාදනය කිරීමට සමත් උනා. මේ වෙද්දී ලෝකයේ සුපිරිම sport cars අතර ලැම්බෝගිනි ඉහලම තැනක සිටිනවා.

කාට උනත් උත්සහය සහ කැපවීම තියනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. තොරතුරු අන්තර්ජාලයෙන්.

සටහන
ධනුජය රත්නායක
Danujaya

Contributor

Latest Articles

වෙබ් ඩිසයිනර්ලා බහුලව සිදු කරන වැරදි
බොහෝ අය නොදැකපු ඩන්සිනන් ඇල්ල
මේ දවස් වල කාගේත් කතා බහට ලක් වෙන BMW i8
හන්තානේ නගින්න කැමති ද?
මතකද ඉස්සල්ලම ලව් එක? ඒ කාලේ මතකද?